විද්‍යාත්මක ලිපි

ව්‍යසනයෙන් පසුව මානසික සෞඛ්‍යය ගොඩනැගීම

රවින්ද්‍ර රණසිංහ

ලාංකීය ජනතාවට පසුගිය දින කිහිපය පුරා අත්දකින්නට වූ අඳුරු අත්දැකීම්, අනපේක්ෂිත විනාශ සහ ජීවිත හා වත්කම් අහිමිවීම් අතිශය දැඩි කම්පනයකට තුඩු දී ඇත. මෙම සිදුවීම් මඟින් පෞද්ගලික හා සමාජ ජීවිතය ගිල ගනිමින් මානසික කම්පනය (Trauma) තීව්‍ර කෙරී ඇත. ජනතාව වසර ගණනාවක් තිස්සේ ගොඩනගාගත් දේවල් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අහිමි වී තිබීමත්, ආදරණීයයන්ගේ වියෝව ද ඒ කම්පනය තුළ දෝංකාර දෙයි. මේ මොහොතේ ඔවුන්ගේ හඬ මහා වේදනාවක් විසින් යටපත් කර දැමුනත්, නිසි සහයෝගය තුළින් ඒ හඬ යළිත් මතුකරගත හැක.

ළමා මානසික සුවතාවය ගොඩනැගීමට නිර්මාණශීලී ක්‍රමවේද යොදා ගැනීම

රවින්ද්‍ර රණසිංහ

රටක් වශයෙන් මහා විපතකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ, අපගේ දරුවන්ගේ මානසිකත්වය ට හා චිත්තවේගයන් ට සිදුවී ඇති බලපෑම අතිශය තදබල ය. විපතට පත් දරුවන් මානසික කම්පනය (Trauma), දැඩි භීතිය, තනිකම, අසරණ බව සහ තමන්ට අහිමි වූ දේ පිළිබඳ ශෝකය වැනි සංකීර්ණ හැඟීම් සමුදායකට මුහුණ දී සිටිති. මේ තත්ත්වය යටතේ, සාම්ප්‍රදායික කතාබහ මත පදනම් වූ චිකිත්සාවන්ට (Talk Therapy) අමතරව, ඔවුන්ගේ සුවය සහ මානසික සෞඛ්‍යය ගොඩනැගීම සඳහා විශේෂිත වූ, නිර්මාණාත්මක චිකිත්සනීය ක්‍රමවේද (Creative Arts Therapies) භාවිතා කිරීමේ අවශ්‍යතාවය ලොව පුරා පිළිගෙන ඇත. මෙම ක්‍රම දරුවන්ට ඔවුන්ගේ අභ්‍යන්තර වේදනාව වචනවලින් තොරව ප්‍රකාශ කිරීමට, ඒවාට මුහුණ දීමට සහ ක්‍රමයෙන් ඒවා පාලනය කරගැනීමට මහඟු අවස්ථාවක් සපයයි. ක්‍රීඩා චිකිත්සාව, රංග චිකිත්සාව, චිත්‍ර කලාව, කතන්දර කලාව, සංගීතය, නැටුම හා චලනය වැනි ක්‍රමවේද මෙහිදී සාර්ථකව යොදාගත හැකිය.

ලාංකීය රංග චිකිත්සන භාවිතයේ ප්‍රගමනය

දීපා ප්‍රනාන්දු විසිනි

2023 රංග චිකිත්සා දිනය දා ඉදිරිපත් කරන ලද දේශනය.

https://www.researchgate.net/publication/382970501_Development_of_Dramatherapy_Practice_in_Sri_Lanka

DOI: 10.13140/RG.2.2.26341.61922

රංග චිකිත්සන මෙවලම් ලෙස වැලි තැටිය සහ දර්ශණ තල නිර්මාණය භාවිතය

කුමුදු ඒකනායක විසිනි.

Download pdf – රංග චිකිත්සන මෙවලම් ලෙස වැලි තැටිය සහ දර්ශණ තල භාවිතය

සාරාංශය

සේවාලාභියාගේ ගැටලුවට හේතු සාධක ගවේෂණය කිරීම හා ගැටලු නිරාකරණය කිරීම සඳහා වන උපදේශකවරයාගේ මැදිහත් වීම උපදේශන සැසියක ඇති වැදගත්ම පියවරයන් වේ. තවද, ගැටලුව අරභයා සේවාලාභියා ට නොපෙනෙන විවිධ විසඳුම් දැකීමේ හැකියාව උපදේශකවරයා සතුව තිබිය යුතු ම කුසලතාවයකි. ගැටලුව ට හේතු ගවේෂණය හා විසඳුම් පෙන්වා දීම සඳහා භාවිතා කළ හැකි
නිර්මාණාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීම මෙම ලිපියේ අරමුණයි. නිර්මාණාත්මක මනෝ චිකිත්සාව (Creative Psychotherapy) තුල බහුලව භාවිතා කරණු ලබන මෙය වැලිතැටි හා දර්ශන තල ලෙස හැඳින්වේ (Sandtray and Spectogram). ගැටලුවට ප්‍රවේශ වීම, හේතු සාධක ගවේෂණය හා ගැටලුව තක්සේරුකරණය මෙන්ම විසඳුම් සඳහා මැදිහත්වීම යන මූලික උපදේශන පියවරයන් සඳහා ද මෙම ක්‍රමවේදය සාර්ථකව හාවිතා කළ හැකි අතර, මෙම ලිපිය තුළ මූලික අවධානය යොමු වන්නේ ගැටලුව සඳහා මුල් වූ හේතු සාධක ගවේෂණය කිරිම හා විසඳුම් සෙවිමේ මැදිහත්වීම් සඳහා වැලිතැටි ක්‍රමවේදය භාවිතයට ගත හැකි ආකාරය පිළිබඳවයි.

මෙම ලිපිය මූලික පියවර දෙකකින් සමන්විත වේ. පළමු පියවර ලෙස ඓතිහාසික පසුබිම තුලින් වැලිතැටිය හා බැඳි ඉතිහාසය මෙන්ම මනෝ විද්‍යාත්මක පසුබිම පිළිබඳව වන විෂයානුබද්ධ තොරතුරුත්, දෙවන පියවර ලෙස ක්‍රමවේදය හා ක්‍රියාවලිය තුළින් වැලි තැටිය සකසා ගැනීම හා භාවිතයට ගැනීම පිළිබඳව මෙන්ම වැලි තැටිය භාවිතයට ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු හා කුසලතා වර්ධනය වෙනුවෙන් වන යෝජනා පිළිබඳවත් කරුණු ඉදිරිපත් වේ.

—————————————————————-

හැසිරීමේ අක්‍රමිකතා සහිත යෞවනයින්ගේ ගැටලු අවම කිරීම සඳහා ප්‍රතිකර්ම විධික්‍රමයක් ලෙස නාට්‍ය චිකිත්සාව

කුමුදු ඒකනායක විසිනි.

Download pdf – හැසිරීමේ අක්‍රමිකතා සහිත යෞවනයින්ගේ ගැටලු අවම කිරීම සඳහා නාට්‍ය චිකිත්සාව

සාරාංශය

චර්යා අක්‍රමිකතා සහිත යෞවනයින්ගේ ගැටලු අවම කිරීම සඳහා නාට්‍ය චිකිත්සාමය මැදිහත් වීම් කෙතරම් ඵලදායක වේද යන්න සොයා බැලීම වෙනුවෙන් මෙම කාර්යය මූලික පර්යේෂණය සිදු කරනු ලැබීය. ගුණාත්මක මූලික මිශ්‍ර පර්යේෂණ ක්‍රම වේදය තුළ සිදු වූ මෙම අධ්‍යයනය ප්‍රත්‍යයෙක අධ්‍යයන මෝස්තරය තුළ දියත් විය. දත්ත විශ්ලේෂණය සඳහා තෝරා ගනු ලැබූයේ තේමාත්මක විශ්ලේෂණය යි. මේ සඳහා වරදට හසුව උසාවි මගින් පරිවාස ගත කළ වයස අවුරුදු 11 ත් 18 ත් අතර වූ යෞවනයින් තෝරා ගන්නා ලදි. බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තුමේන්තුවට අයත් මාකොළ පුනරුත්ථාපන අයතනය තුළ සිටින නව යෞවනයින් 42 දෙනකුගෙන්, චර්යා අක්‍රමිකතා ඇති බවට හඳුනා ගත් යෞවනයින් 15 ගෙන් යුත් නියැදියට පමණක් මෙම අධ්‍යයනය සීමා වූ අතර, පැය දෙක බැගින් සතියකට දින දෙකක්, මාස 8 ක් පුරාවට චිකිත්සාමය මැදිහත් වීම සිදු කරන ලදි. ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ මානසික රෝග වර්ගීකරණයේ පස් වන වෙළුමේ ඉදිරිපත් කර ඇති රෝග ලක්ෂණ පදනම් කර ගනිමින් මූලික කාණ්ඩායම් තුනක් යටතේ ප්‍රතිකාරාත්මක සැසි පවත්වන ලදි. චිකිත්සාමය මැදිහත් වීමට පෙර සහ පසු සිදුකරන ලද දත්ත විශ්ලේෂණය ට අනුව අදාල පරීක්ෂිතයින්ගෙන් නව දෙනෙකු තුළ සාධනීය ලක්ෂණ පෙන්නුම් කෙරිනි.


කෝවිඩ් 19 වසංගත සමයේ අපේ හැසිරීම

ආචාර්ය රවින්ද්‍ර රණසිංහ

Download pdf කෝවිඩ් 19 වසංගත සමයේ අපේ හැසිරීම

කෝවිඩ් 19 වසංගත සමය අපි හැමදෙනාටම විවිධ ආකාරයේ අත්දැකීම් ගෙන ආ සමයක්. මෙතැනදී විශේෂයෙන් වැදගත් වෙන්නේ අපි කොහොමද මේ අමාරු කාලයේදී අපේ සිත සහ හැඟීම් කළමණාකරණය කරගන්නේ කියන කාරණයයි. රට පුරා පනවපු ඇඳිරි නීතිය නිසා පවුලේ හැම දෙනාම බොහොමයක් කාලයක් ගෙදරට වෙලා ඉන්දැද්දී අනිවාර්යයෙන්ම කවදාවත් අත් නොවිඳි තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඇති. වැඩිහිටි උදවියට තමන්ගේ කාලය ගෙවා දමන හැටි ගැන හිතා ගන්නට බැරි වෙන්නට ඇති. සමහරු කලකිරීමෙන්, බියෙන්, නැතිනම් කේන්තියෙන් පසුවෙන්නට ඇති. දරුවන්ද තමන්ගේ යාලූවන් සමග කල් ගෙවන්නට නොලැඛෙන නිසා, කොම්පියුටරයට, ලැප්ටොප් එකට, නැතිනම් ස්මාට් ෆෝන් එකට වැඩි කාලයක් යොදවන්නට ඇති. පාඩමට අවධානය යොමු කිරීම පහසු නොවුනු නිසා, දෙමාපියන්ගෙන් බැණුම් අසන්නට  ද ඇති.

කොහොම වුනත් මේ කාලය අපේ ඉවසීම ප්‍රගුණ කරන්නට කදිම කාලයක් හැටියට නම් කල හැකියි. තමන්ගේ හිතේ ඇති නොසන්සුන් බව නිසා බොහෝ අය හිතට එන අදහස් කියවන්නට පටන්ගෙන තියෙනවා. හැම කෙනෙක්ම කිසියම් බයකින් පසුවෙන කාලයක් මේ. සාමාන්‍යයෙන් තමන්ගේ ගමනේ බිමනේ යෙදුනු මිනිසුන් ගෙදරට කොටු වුනාම ඇතිවෙන අපහසුව නිසා හුඟක් කලකිරීමට පත්වෙලා තිඛෙනවා.

විශේෂයෙන්ම මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතයට කොරෝනා වෛරසය නිසා එල්ලවුනු බලපෑම අති මහත්. සමහරුන්ගේ ව්‍යාපාර අඩාල වෙලා, නැත්නම් රැකියා අහිමිවෙලා. දරුවන්ට තමන්ගේ මිත්‍රයින් සමග එක්රොක් වෙන එකටත් බාධා පැමිණිලා. මේ තත්ත්වය නිසා විවිධ ආකාරයේ හැඟීම් ගොඩක් එක්ක මිනිසුන්ට පොර බදන්න වෙලා තියෙනවා. තව කෙනෙකුට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා තේරුමක් නැති තත්ත්වයට මානසික අවුලක් ඇතිවෙලා තියෙනවා. මේ නිසා වඩාත් අවධානයෙන් තමන් කතා කරන්නේ මොනවාද, මොන වචනද භාවිතා කරන්නේ, තව කෙනෙකුගේ මානසිකත්වය බිඳ නොවැටෙන්නට කටයුතු කරන්නේ කොහොමද කියලා අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ.

මෙතැනදී තවත් වැදගත් කාරණයක් තමයි අපි කොහොමද කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ කියන එක. තමන්ගේ බිය, නැතිනම් දුක ගැන කතා කරන කෙනාට සවන් දීමෙන් අපිට ඒ අයට විශාල උදව්වක් කරන්නට පුලූවන්. ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ තමන් කියන දේ ට ඇහුම් කන් දීම පමණයි. තව කෙනෙකුගේ හිතේ තියෙන චකිතය, කාංසාව මකන්න කරන්න අපිට කරන්න පුලූවන් දේ තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා කෙනෙක් මේ කොරෝනා සමයේදී අදහස් දක්වන කොට අපි ඒ දේ ට හොඳින්ම ඇහුම්කන් දෙන්නට ඕනේ. අපිට ඒ කුසලතාව නැත්නම්, මේක තමයි හොඳම කාලය ඒ කුසලතාව වර්ධනය කරන්න. තමන්ගේ හිතේ තියෙන දේ කියාගන්න බැරි බොහොමයක් මිනිස්සු මේ කාලයේදී අධික කේන්තියෙන් පසුවෙනවා. සමහරවිට ප්‍රචණ්ඩකාරී වෙන්නත් පුලූවන්. මේ නිසා අපිව සන්සුන් කර ගැනීමෙන්. අපිට තවත් බොහෝ අයට උදව් කරන්නට අවස්ථාව සැලසෙනවා.

විවිධ පුද්ගලයෝ තමන්ව සන්සුන් කරගන්නේ විවිධ ආකාරයට. සමහරු සිංදු කියනවා, සංගීතය වාදනය කරනවා, පොත් කියවනවා, ගෙවතු වගාවේ යෙදෙනවා, චිත්‍ර අඳිනවා. තවත් අය ඡායාරූපකරණයේ යෙදෙනවා. තවත් අය මල් වගා කරනවා. මේ තමන්ගේ හිතේ තියෙන කැළඹිල්ල සමනය කරන්න විවිධ පුද්ගලයෝ යොදාගන්න උපක්‍රම. නමුත් මේ අතර අපිට අපේ ගෙදර හා වටපිටාවේ අය එක්ක අන්තර්ක්‍රියා කරන්න සිද්ධවෙනවා. එතැන තමයි අපි ට හැබැවින්ම අභියෝගය තියෙන්නේ. අපි සරල විදිහට මේ ගැන හිතුවාට, අපේ හැසිරීම පේන්නේ අපි වටා ඉන්න අයටයි. ඒ නිසා අපි මොන විදිහටද හිතන්නේ, හැසිරෙන්නේ කියන එක ගැන අපේ අවධානය යොමු කරන්නට ඕනේ.

අපි ගැන අවධානය දෙන්නට අවශ්‍ය බව කිව්වාට ඒ කොහොමද කියලා කෙනෙකුට ප්‍රශ්ණයක් ඇති වෙන්නට පුලූවන්. මොකද අපි අවධානය ගොඩ නැගීම ගැන කුසලතා පුහුණු කරලා නොමැති වෙන්නට පුලූවන්. ඉතිං අපි කරන්නට ඕනේ අපි ඉන්න තැන ගැන, ඒ වටපිටාව ගැන, එතැනදී අපිට ඇතිවෙන හැඟීම් ගැන, අප වටා ඉන්න අය ගැන, අපේ සිතට නැගෙන සිතුවිලි ගැන අවධානයෙන් පසුවීමයි. මේකට “සතිය” පිහිටුවීම කියලා කියන්නත් පුලුවන්. ඔබ ඉන්න තැන ඔබ සිහියෙන් පසුවෙනවාද කියලා කල්පනා කර බලන්න පුලූවන්. තමන් කරන වැඩේට සම්පූර්ණ අවධානය යොමු කලොත්, සිතට නැගෙන අනික් අදහස් එක්ක නොගැටී ඉන්න පුලූවන්. අපි මල් පාත්තියක් සකසමින් ඉන්නවානම්, අපේ සිත ඒ මල් පාත්තියේ ම තබා ගත යුතුයි. පාත්තිය හදන හැටි, පැල තවාන් කරන හැටි, වතුර දාන හැටි, මේ කියන මුලූ ක්‍රියාදාමයටම අවධානය දීමෙන්, සිත එකලස් කර ගැනීම කරගන්න පුලුවන්. එළැඹි සිහියෙන් පසුවීම කොරෝනා කාලයේදී විතරක් නෙමෙයි, වෙනත් කාලවලදීත්, බොහොම සෞඛ්‍යසම්පන්න ලෙස ජීවත්වෙන්න උපකාර කරන දෙයක්.

කොරෝනා කාලයේදී ඇති වී තිඛෙන ගැටුම්වලින් බොහොමයක් ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර සිදු වී ඇති දේ බව පෙනෙන්නට තිඛෙනවා. ඒ දෙදෙනාට එකිනෙකා හා කල්ගෙවන්න කොරෝනාව නිසා කාලයක් ලැබුනා. ඒ කාලය ඵලදායි විදිහට භාවිතා කරන්න ඒ යුවල කල්පනා කරන්නට අවශ්‍යයි. එකිනෙකා සමග බොහොම හිතමිතුරු ලෙස සන්නිවේදනයේ යෙදෙන්න, එකිනෙකාට උපකාර කරගන්නට, සහ එකිනෙකා කෙරේ සැලකිලිමත් වෙන්නට කොරෝනා සමය අවකාශය සලසා දී තියෙනවා. නමුත් ඒ වෙනුවට බොහෝ විවාහක යුවල අතර ගැටුම් වර්ධනය වීම දකින්නට තියෙනවා. එකිනෙකා නුරුස්නා තත්ත්වයට විවාහක යුවල පත්වීම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දක්වා ගැටුම් නිර්මාණය කරන්නට හේතුවී තිඛෙනවා. අප කල්පනා කරන්නට අවශ්‍ය දේ නම් මෙවැනි ගැටුම් ඇතිවීම වලක්වාගන්නේ කෙසේද කියන එකයි. ඉවසීම ප්‍රගුණ කිරීම, අනෙකා කෙරේ ගරුත්වයක් සහ වටිනාකමක් දීම, එකිනෙකා අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරීම, සහ යහපත් වචන යොදා ගනිමින් සන්නිවේදනයේ යෙදීම, සහ අනෙකාගේ හැඟීම් ගැන අවබෝධයක් ඇති කරගැනීම ප්‍රචණ්ඩත්වය වළක්වා ගත හැකි හොඳම ක්‍රමවෙයි.

කොරෝනාව අභියෝගයක් වන නමුත්, අපි මිනිසුන් හැටියට අපේ ජීවිත කළමණාකරණය කරගන්නේ කෙසේද කියන කාරණයට අවධානය දීමෙන් අභියෝග වළක්වා ගැනීමට හැකියාව ලැඛෙනවා. කුසලතා වර්ධනය කරගනිමින්, ජීවිතය දෙස බොහොම සාධනීය විදිහට කල්පනා කරන්නට අප පුරුදු පුහුණු විය යුතුයි. සතුට සහ සැනසීම අත්වෙන්නේ අපිට අපේ හැසිරීම් ගැන සිතා බලන්නට ඇතුලාන්තයට යොමුවීමෙන් පමණක් බව අවබෝධයට ගැනීම අත්‍යවශ්‍යයි.


පාසැල, දරුවා, සහ රංග චිකිත්සාව

රවින්ද්‍ර රණසිංහ විසිනි.

Download pdf – පාසැල, දරුවා, සහ රංග චිකිත්සාව

WP_20181021_09_14_33_Pro


ජාතක කථාව සහ රංග චිකිත්සාව

චමිලා වීරසිංහ විසිනි.

Download pdf – ජාතක කථාව හා රංග චිකිත්සාව

IMG-20180315-WA0090


මානසික සුවතාවයට රංග චිකිත්සාව

ඔක්තෝබර් 05 සිකුරාදා රංග චිකිත්සා දිනය නිමිත්තෙන්

මනෝජා සන්ධ්‍යාරාණි විසිනි.

Download pdf – මානසික සුවතාවයට රංග චිකිත්සාව

img-20180817-wa0062.jpg


පවුල් චිකිත්සාවේ දී රංග චිකිත්සන මෙවලමක් වන  වෙස් මුහුණු භාවිතය

Download pdf – පවුල් චිකිත්සාවේ දී වෙස් මුහුණු භාවිතය

මනෝජා සන්ධ්‍යාරාණි විසිනි.


වර්ධන අක්‍රමතා සහිත දරුවන්ට කැටපත් ඉගෙනුම් ප්‍රවේශය
වර්ධන අක්‍රමතාවන් ට කැටපත් ඉගෙනුම් ප්‍රවේශය

දීප්ති සිතිලි ද සිල්වා


රංග චිකිත්සාව යනු කුමක්ද?

Download pdf – රංග චිකිත්සාව යනු කුමක්ද


රංග චිකිත්සාවෙහි මනෝ චිකිත්සන ගුණය

හේමා රණවක විසිනි.

Download pdf – රංග චිකිත්සාවෙහි මනෝ චිකිත්සන ගුණය

8
අවිඥානයේ අන්ධකාර සෙවනැලි සමග ගනුදෙනුව
9
අපුද්ගලකරණය තුළ ගැටළු ගවේෂණය

පිළිකා රෝගය මඩින්නට කලා චිකිත්සක භාවිතාව
hare2016-03-21-0dbe746dbb517ab6d304155f68051f1feaaf68934173349a218fcc43f4820d84-Picture_25032016_S03_CMY

Cancer Survivors’ Day speech On Creative Arts Therapies by Ravindra Ranasinha

(2016 අප්‍රේල් 2 වැනි දා කොළඹ විශ්ව විද්‍යාලයේ විද්යා පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද පිළිකාව ජයගත් අයවලුන්ගේ දිනය – Cancer Survivor’s Day  වෙනුවෙන් රවීන්ද්‍ර රණසිංහ විසින් සිදු කරන ලද දේශනය).

අද මේ විශේෂ අවස්ථාවට කථිකයෙක් ලෙස මට ආරාධනා කිරීම ගැන මේ වැඩ සටහන සංවිධානය කල කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන්ට මගේ ස්තූතිය පිරිනමනවා. පිළිකා රෝගීන්ට ශක්තියක් වන්නට කලා චිකිත්සාවන් ට හැකියාවක් තියෙනවා යන විශ්වාසය මේ සංවිධායකයින් තුළ තිබීම විශේෂයෙන්ම අගය කල යුතු කාරණාවක්.

කලා චිකිත්සාවන් ගැන මේ වැඩසටහනට සහභාගිවෙලා ඉන්න පිළිකා රෝගීන්ගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට කතා කරන්නට ලැබුනු මේ අවස්ථාව මම වඩාත් අගයනවා. පිළිකාව හෝ වෙන මොනයම්ම රෝගයක් වේවා මැඩ පවත්වා ගන්න තියෙන විධික්‍රම බොහොමයි. නමුත් ලංකාවේ අපි බොහෝ විට මේ විකල්ප ක්‍රම දකින්නේ නැහැ. විටෙක අපිට බටහිර වෛද්‍ය උපදෙස් හා සමගාමීව අනෙක් විකල්ප ක්‍රමවලට යොමුවෙන්නට සිදුවෙනවා. ඖෂධ වලින් විතරක් අපිට සුවය අත් කරගන්න බැරි අවස්ථා අනන්තවත් තිබෙනවා. ඖෂධවලට ගැතිවෙලා අපි අමතර ලෙඩ ඇති කරගන්නා අවස්ථාද තිබෙනවා. මේ නිසා අන්තිමේදී අපි කණස්සල්ලට, දුකට, කරදරයට පත්වෙලා අපේ ජීවිත කඩා බිඳ දමා ගන්නවා. අපේ බලාපොරොත්තු, ආශාවන්, ප්‍රාර්ථනා ඉෂ්ඨ නොවන බව අපිට දැනෙනවා. මේ කඩා වැටීමට මූලික හේතුව අපිට ඖෂධ හැරුණුකොට වෙන විකල්ප අප වටා තියෙන බව අපි නොදන්න නිසයි. ඒ නිසා අද මේ අවස්ථාව අපිට කලාව හා එහි චිකිත්සක ගුණය ගැන කතා කරන්න ලැබුනු හොඳ අවස්ථාවක්.

කෙනෙක් පිළිකා රෝගයෙන් පෙලෙන බව දැන ගැනීම එම රෝගියා ශාරීරිකවත්, මානසිකවත් කඩා වැටීමකට ලක් කරවන කාරණයක්. තමන්ගේ සෞඛ්‍යය හා ජීවිතය පාලනය කරගන්නට තමන් අසමත් වෙලාය යන හැඟීමක් ඒ අය තුළ ඇති වෙනවා. පිළිකා රෝගින් මුහුණ දෙන සෞඛ්‍යමය ගැටළුවලින් ඔවුන් මුදා ගන්නට සිත, කය හා ආත්මය අතර බැඳීමක් ගොඩනගන ක්‍රමවේදයක් අත්‍යවශ්‍යයි. පිළිකා රෝගයෙන් පෙලෙන අයෙකුට සුපුරුදු ප්‍රතිකාර ක්‍රමයන්ගෙන් හා පශ්චාත් ප්‍රතිකර්ම ක්‍රමයන්ගෙන් ඔබ්බට ගිය ක්‍රමවේදයක් අවශ්‍යයි.

නිර්මාණාත්මක හා ප්‍රකාශන කලා චිකිත්සාවන් ( creative and expressive therapy) යොදා ගැනීම මගින් පිළිකා රෝගියාට තමන් ප්‍රතිකාර ලබා ගන්නා කාලය තුළ තමන්ගේ කායික හා ආවේගික ගැටළු ප්‍රකාශ කරන්නට අවශ්‍ය විකල්ප චිකිත්සක ක්‍රමවේදයක් ලැබෙනවා. පිළිකා රෝගියාට තමන්ගේ සෞඛ්‍යය ගැන පාලනයක් ඇති කරගන්නටත්, ආයු කාලය තවත් දිගු කරගන්නටත් කලා චිකිත්සාවන් මගින් අවකාශය සලසා දෙනවා.

ලෝකයේ අද බොහෝ දියුණු රටවල රංග චිකිත්සාව (Dramatherapy), සංගීත චිකිත්සාව (music therapy), චිත්‍ර චිකිත්සාව (art therapy), චලන චිකිත්සාව (movement therapy) වැනි කලා චිකිත්සාවන් බොහොම සාර්ථක විදිහට යොදාගෙන තියෙනවා විවිධ රෝගවලට ප්‍රතිකාර කරන්නට. විශේෂයෙන්ම කලා චිකිත්සාවන් භාවිතා කරලා පිළිකා රෝගීන්ට සහාය වන ආකාරය ගැන පර්යේෂණ ලිපි පලවෙලා තිබෙනවා.

අද ස්නායු විද්‍යාවේ නවතම සොයාගැනිම් එක්ක කලා චිකිත්සාවන් සම්බන්ධ වෙනවා. ඒ පර්යේෂණවලින් පිළිගැනෙන දේ තමයි පිළිකා රෝගීන්ගේ සෛල දේහයට කතා කරන්න කලා චිකිත්සාවන් හොඳ මාධ්‍යයක් බව. මිනිස් ශරීරය කියන්නේ සෛල දේහයක් නැතිනම් සෛල එකතුවක්. හැම සෛලයක්ම කතා කරනවා නැතිනම් සන්නිවේදනයේ යෙදෙනවා. මේ නිසා බාහිරින් සන්නවේදනය වන හැමදේටම මේ සෛල දේහය ප්‍රතික්‍රියා කරනවා. ඒ ජීව සන්නිවේදනය (bio-communication) ගැන අපි දැනුවත් වෙන්නට ඕනේ. පිළිකා රෝගියාට සැනසීම, සතුට, සැහැල්ලුව දැනෙන්නේ මේ අපූරු සන්නිවේදනය නිසයි. කලාව යොදාගන්න තැන අපි අපේ සෛල දේහයට සන්නිවේදනය කරන්නේ සංතෝසය, බලාපොරොත්තුව, නිර්භීත බව, ධෛර්යවන්ත බව හා සුන්දරත්වය ගැනයි. මේ ධනාත්මක සිතුවිලි අපේ සෛල දේහයේ විනාශකාරි කොටස් ඉවත් කරන්නට සමත්වෙන බව ස්නායු විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව පිළිකා රෝගියාට සුවය අත් කරගන්නට ඇති ඉඩකඩ කලාව තුළ බොහොමයි.

පිළිකා රෝගය වැළැඳුනු කුඩා දරුන්ට කතාන්දර කලාවෙන් විශාල සැනැසීමක් අත් කර දෙන්න පුළුවන්. කතාන්දරයකට ඇහුම්කන් දෙන්න වැඩිහිටියන් ද කැමැතියි. කතාව කියන කොට අපි ඉබේම අපෙන් ඈත්වෙලා වෙනම ලෝකයකට ඇදෙනවා. මෙන්න මේ අපෙන් මොහොතකට ඉවත්වෙලා යන කාරණාව ඉතාම වැදගත්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ dissociation කියලා. වෛද්‍ය විද්‍යාවේදී මේ තත්තවය රෝගී තත්ත්වයක් හැටියට හඳුන්වන්න පුළුවන්. නමුත් ඇත්ත තත්ත්වය නම් මේ අපේ ඇසුරෙන් ඈත්වන මොහොත තමයි අපිව සුවපත් කරන මොහොත. නැතිනම් අපිට අපිව දැකගන්න සලස්වන මොහොත. අප කතාන්දරයට ඇහුම්කන් දෙනකොට අපි ඒ කතාන්දරයේ චරිත එක්ක කිට්ටු වෙනවා. ඒ සිද්ධිවලට කිට්ටුවෙනවා. එහෙම ඒ කිට්ටුවෙලා අපි අපේ ජීවිතේ මොනම හරි අත්දැකීමකට අර්ථයක් ඒ තුළින් ලබාගන්න උත්සාහ කරනවා.

දැන් මොහොතකට කලින් කතා කරපු කමලා මහත්මිය තමන්ගේ ජීවිතයට අත්කම් කලාව තුළින් අර්ථයක් දෙන්න උත්සාහ කරපු හැටි ගැන කතා කලා. ඇය තමන්ගේ පිළිකා රෝගී තත්ත්වය ගැන වද වෙමින් ඉන්නවාට වඩා තමන්ගේ දක්ෂතාව තුළින් තමන්ට සතුටක් ලබාගන්නත්, ආර්ථික හැකියාව අත් කරගන්නත් තමන් දන්න අත්කම් කලාව යොදා ගෙන තියෙන බව අපිට පැවසුවා. කලාව තුළින් තමන්ගේ ජීවිතය ජයගන්න විතරක් නෙමෙයි, අන් අයටත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වෙන්න කමලා මහත්මිය කටයුතු     කර තියෙනවා. ඈ ඇගේ කලාව තවත් පිරිසකට කියා දෙනවා. මේ හැමෝම තමන්ගේ සතුට හා ශක්තිය බෙදාගනිමින් ඉන්න කලා කරුවන්.  සරලව කිව්වොත් පිළිකාවට විරාමයක් දෙන්න පුළුවන් බව තමයි කමලා මහත්මියගේ කතාවෙන් කියැවෙන්නේ.

අවුරුදු ලක්ෂ ගණනක් ඈතට දිවෙන අපේ ලංකාවේ සංස්කෘතිය ගැන කතා කලාම කලා චිකිත්සාව මොන විදිහට ද අපේ මුතුන් මිත්තෝ භාවිතා කලේ කියලා දැනගන්න පුළුවන්. අපේ පරණ වෙදැදුරන් තොවිල් පවිල් ගැන, ගම්මඩු නැතිනම් දහඅට සන්නිය ගොඩනැගුවේ ඒවායේ තියෙන කලා ශක්තිය භාවිතා කරලා රෝගීන් සුව කරන්න. ගින්දර, බෙර ශබ්දය, වර්ණය, අලෝකය, මන්ත්‍රය කියන මේ හැමදේම අපේ ශාන්ති කර්ම ඇතුලේ මහා කලා චිකිත්සාවක් සිද්ධ කලා. එතැන තිබුනේ පැරණි වෛද්‍ය ක්‍රමයත් එක්ක කලාව සම්බන්ධ කරලා කරපු සුවපත් කිරීමයි. නැටුම, බෙර ශබ්දය, තාලය, කතාව, කවිය, වෙස් මුහුණ යන හැමදේම කලා චිකිත්සාවේ ආම්පන්න. අදත් අපිට මේ හැම ආම්පන්නයක්ම අපේ පිළිකා රෝගීන් සුවපත් කරන්න යොදාගන්න පුළුවන්.

රඟපෑමේදී වගේම චලනයේ දී ද එන්ඩෝෆින් (Endorphin) කියන රසායනයන් නැතිනම් නියුරෝන විශාල ලෙස ක්‍රියා කරවනවා. ශරීරය මෙහෙයැවීම කියන්නේ ශරීර පද්ධතියේ අනෙක් කොටස්වලට උත්තේජනය ලබාදීමයි. ආශ්වාස ප්‍රශ්වාස කිරීම, රුධික ධාවනය, ඇට සැකිල්ලේ මනා ක්‍රියාකාරිත්වය වගේම මාංශ පේෂී පද්ධතිය ද ක්‍රියාත්මක වී පිළිකා රෝගියාට වඩා ශක්තිමත්ව සිටින්නට අවස්ථාව සලසා දෙනවා. මේ නිසා රංග චිකිත්සාවත් චලන චිකිත්සාවත් පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය වෙනවා යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්නට.

ඇමෙරිකානු චිත්‍ර චිකිත්සක සංගමයට (American Art Therapy Association) අනුව පැන්සලක් හෝ පින්සලක් අල්ලාගෙන තමන්ගේ භාව ප්‍රකාශනයේ යෙදෙන්න පිළිකා රෝගියාට අවස්ථාව සලසා දීමෙන් විශාල ප්‍රථිපල අත් කරගන්නට පුළුවන්. ඒ තැනැත්තා තුළ ඇති ගැටළු විසඳාගන්නට, හැසිරීම හා ආතතිය පාලනය කරගන්නට, ආත්ම අභිමානය වැඩි දියුණු කරගන්නට, ආත්මාවබෝධය හා තමන් ගැන ගැඹුරු අවබෝධයක් ඇති කරගන්නට මෙන්ම අන් අයත් සමග තමන්ගේ හැකියාව බෙදා හදාගන්නට හා වැඩි දියුණු කරගන්නට චිත්‍ර චිකිත්සාවෙන් අවස්ථාව සැලැසෙනවා. තමන් අඳින ලද චිත්‍රය දිහා බලන පිළිකා රෝගියාට, තමන්ගේ ශාරීරික, ආවේගික හා අධ්‍යාත්මික අවශ්‍යතා හඳුනාගනිමින් තමන්ව සුවපත් කරගන්නට අවශ්‍ය ධනාත්මකවූ සිතුවිලි ඇති කෙරෙනවා. සංගීත චිකිත්සාවේ දී සිදුවෙන්නේ පිළිකා රෝගියාගේ ආවේගික, මානසික, ප්‍රජානමය (cognitive), ශාරීරික හා සමාජමය අවශ්‍යතාවලට ආමන්ත්‍රණය කිරීමයි. මෙවැනි චිකිත්සාවකින් අධික රුධිර පීඩනය පාලනය කරන්නත්, අධික හෘද ස්පන්දනය පාලනය කරන්නත්, විශාදය සහ ක්ලමතය ඉවත් කරන්නත් සහ නින්ද නොයෑම (insomnia) මග හරින්නත් උපකාර වෙනවා. අධික විකිරණයට හසුවුනු පිළිකා රෝගීන් වමනය කරන්නට ඇති පෙළැඹීම ඉවත් කර දමන්නට ද සංගීත චිකිත්සාව ඉවහල් වෙනවා.

පොදුවේ ගත්විට කලා චිකිත්සාවන් කියන්නේ අපේ සිත, කය හා ආත්මය එක් කරන සුවපත් කිරීමේ වැඩ පිළිවෙලක්. පිළිකාව පරාජය කරලා වඩාත් ධනාත්මක වූ අදහස් සමුදායක් අපි තුළ නිපදවන්නට මේ කලා චිකිත්සාවන් සමත් බව දැන් අපිට පැහැදිලියි. පිළිකාව තවදුරටත් අපිව පාලනය කරන්නට නොව, අපි ඒ රෝගී තත්ත්වය නතු කොට අපේ ආයු කාලය දිගු කරගන්නටත්, වඩා යහපත් පැවත්මක් තුළින් ජීවිතය ප්‍රීතිමත් හා පූර්ණ එකක් කරගන්නටත් සමත් විය යුතුයි. ඒ නිසා මගේ කතාව අවසන් කරන්නේ කලාව තුළ අපි අත්විඳින රසය, සුවපත් වීමේ රසයක් බව සිත්හි තබාගන්නා ලෙස ඉල්ලමින්.

————————————-

රංගය හා පෙර පාසැල් දරුවා

Dramatherapy for the Pre-school

Mirror...Mirror....!
————————————————-

Download pdf –  යථාර්තය ට මුහුණ දෙන්නට රංග චිකිත්සාව

Participants.


රංග චිකිත්සාව තුළ මනෝ උපදේශනය

රවින්ද්‍ර රණසිංහ© විසිනි.

P1000788

රංග චිකිත්සාව මනෝ උපදේශන ක්‍රියාවලියකි. වෙනසකට ඇත්තේ රංග චිකිත්සාව සේවාලාභීගේ මානසික හෝ ආවේගික ගැටළුව වෙත ළඟා වන්නට භාවිතයට යොදවන්නේ රංග ක්‍රියාකාරකම් ය. සේවාලාභියාට තම ගැටළුව ගවේෂණය කොට (explore) ඒ පිළිබඳ අවලෝකනයක් (insight) ලබා ගන්ට සැලැස්වීම රංග චිකිත්සාවේ මූලික කටයුත්තයි. තම ගැටළුව සමනය කරගන්ට අවශ්‍ය ක්‍රියාකාරි සැලැස්ම (action plan) සකසා ගන්නට රංග චිකිත්සකයා සේවාලාභීට උපකාරී වෙයි. ක්‍රමවත් ක්‍රියාකාරි සැලැස්මක් හරහා සේවාලාභියා ලබන අවලෝකනය අභිමත චර්යාමය වෙනසට පරිවර්තනය කරගත හැකි වෙයි.

සේවාලාභි ට ස්වකීය ගැටළුව ගවේෂණය කරන්නට උපකාර කරන රංග චිකිත්සකයා අව්‍යාජත්වයෙන් පිරි පුද්ගලයෙකු වීම වැදගත් ය. ඔහු තම වෘත්තිය සේම සේවාලාභියා වෙත කෙරෙන යොමුවීම ද (attend) අව්‍යාජව සිදු කල යුතුය. තමන්ට කල හැකි දේ මෙන්ම තමන්ට කල නොහැකි දේ පිළිබඳව ද ඔහුට අවබෝධයක් තිබිය යුතුය. තමන් වෙත පැමිණෙන සියළු සේවාලාභීන් වෙත තම සේවය ලබා දිය හැකිය යන මිථ්‍යාව ඔහු බැහැර කල යුතුය. එවැනි සිහින ලෝකයක් තුළට යොමුවීමෙන් රංග චිකිත්සකයා හා සේවාලාභියා යන දෙදෙනාම අවදානම් තත්ත්වයන් ට ඇද වැටෙන්නේය.

රංග චිකිත්සකයාට සේවාලාභියෙකු සමග සහකම්පනයක් ඇති කරගන්න ට හැකියාව අත් කර දෙන්නේ මේ අව්‍යාජ ගුණයයි. මේ නිසා රංග චිකිත්සකයාගේ කාර්යය හුදෙක් ක්‍රියාකාරකම් සමුදායක් ගෙන දැක්වීම නොව, ඒ ක්‍රියාකාරකම් හරහා ජීවිත උගෙනුම කරන්නට අවශ්‍ය උත්තේජනය සේවාලාභියාට ලබා දීමය. රංග චිකිත්සකයා හා සේවාලාභියා අතර ගොඩ නැගෙන සම්බන්ධය හුදෙක් ප්‍රතිකර්මීය වැඩ පිළිවෙලක් ම නොව, ඉන් ඔබ්බට ගොස් සේවාලාභියාගේ ආත්මීය පිරිපුන් බව ඉලක්ක කොට යෙදැවෙන, සුව කිරීමේ මෙහෙයුමකි.

ලාංකීය පසුබිම සැලකිල්ලට ගැනීමේ දී රංග චිකිත්සකයා, සංස්කෘතික බලපෑම් කෙරේ අවධානය යොමු කිරීමේ වැදගත්කම අපි අවධාරණය කර සිටිමු. විවිධ සේවාලාභීන් ගෙන එන විවිධ සංස්කෘතික අනන්‍යතාවන් තුළ රංග චිකිත්සකයා ස්වකීය කටයුතු සැලැසුම් කල යුත්තේය. සෑම පුද්ගලයෙකුම වෙනස් අයෙක් බව අවබෝධ කරගත් වහාම රංග චිකිත්සකයාගේ කටයුතු පහසු වන්නේය . ඒ විවිධත්වය තුළ ඔහු තමන්ට අවශ්‍ය මෙවලම් සොයාගත යුතු අතර අව්‍යාජව සේවාලාභියා සමග සහකම්පනය ගොඩ නැගිය යුත්තේය.

සේවාලාභියාගේ විශ්වාසය දිනාගැනීම රංග චිකිත්සාව ඵල දැරීමට හේතුවක් වන්නේය. රංග චිකිත්සකයා තමන් කවුද, කවර අත්දැකීම් සහිත අයෙකු ද යන්න අවශ්‍ය විටෙක හෙළිදරව් කරන බැවින් (self-disclosure) සේවාලාභියාට තමන් වැනිම අයෙක් චිකිත්සකයා තුළ දැකගන්නට ලැබෙයි. මෙය සේවාලාභි ට කිසියම් උත්තේජනයක් සපයා දෙයි. සේවාලාභියා තමන් ගැන කරන හෙළිදරව්ව ඉතා සෙමින් සිදුවිය හැක. ස්වකීය කම්පනය හේතුවෙන් සේවාලාභියෙකු කිසිවක් කතා නොකිරීමට පුළුවන. එනමුත් රංග චිකිත්සකයා තමන්ගේ අත්දැකීමක් ගෙන හැර පෑමෙන් සේවාලාභියාගේ අවධානය තමන් වෙත ඇද ගැනීමට සමත් වනු ඇත. එම ආත්ම නිරාවරණය හරහා රංග චිකිත්සකයා කෙරේ විශ්වාසයක් ගොඩ නගා ගන්ට සේවාලාභියාට අවස්ථාව සැලැසෙයි.

සහකම්පනීය රංග චිකිත්සකයා තම අවධානය යොදන්නේ සේවාලාභියාගේ සිතුවිලි රාමුව (frame of mind) හා ඔහු ඒ මොහොතේ කවර තත්ත්වයක සිටිනවාද, කවර හැඟීම් ධාරාවක් ඔහු තුළ ක්‍රියාත්මක වෙනවා ද හා එසේ වන්නේ ඇයි ද යන්න අවබෝධ කරගැනීමට ය. මා සේවාලාභියෙකු අරභයා සහකම්පනීය වන විට, මම ඔහු සිටින තත්ත්වය පත්වෙමි. මම ඔහු නම් (as IF) යැයි කල්පනා කිරීමට පටන් ගනිමි. මෙවිට ඔහු අත්විඳින, ඔහුට බලපෑම් කරන බලවේගයන් මොනවාද යන්න ගැන මා හට සංවේදී වීමට හැකියාවක් ලැබෙයි. ඔහුට කවර දෙයක් හඟී ද සහ ඔහු එසේ හඟින්නේ ඇයිද යන්න ගැන මට තේරුම් යයි.

සහකම්පනයෙහි වටිනාකම අවධාරණය කරන්නේ සේවාලාභියාගේ හැඟුම් එක්තරා පමණකට බෙදා හදා ගන්නට රංග චිකිත්සකයා තුළ යම් උණුහුමක් තිබිය යුතු බවයි. නමුත් චිකිත්සකයා උත්සාහ කල යුත්තේ ඔහුගේ ගැටළුව අරභයා ඔහුට සහායක් වන්නට, ඔහුට බලපෑම් කරන්නාවූ බලවේග හඳුනාගැනීමට හා ඒ ඉදිරියේ ඔහු කවර ස්ථාවරයක් ගෙන සිටිනවාද යන්න අවබෝධ කරගන්නටයි. වෙනත් වචනවලින් පවසනවා නම්, සේවාලාභියාගේ හැඟීම් තේරුම් ගන්ටත්, ඒවා නිවැරිදිව අර්ථකථනය කරගන්ටත්, සහ එම හැඟීම්වලට හේතු හෝ සේවාලාභියාට ඒවායින් කවර අර්ථ මතුවන්නේ ද යන්නත් අවබෝධයට ගැනීමට රංග චිකිත්සකයාට හැකියාව තිබිය යුතුයි. සේවාලාභියා සමග සමබර අනන්‍යතාවක් ඇති කරගැනීමේ හා ඵලදායි වූ යථාර්තවත් ප්‍රතිඵල අත්පත් කරගැනීමේ සාරය මෙයයි.

ගැටළුව ගවේෂණය කිරීම රංග චිකිත්සාවේ දී මග පෙන්වීමකින් (directive) හෝ මග පෙන්වීමකින් තොරව (non-directive) සිදු කල හැකිය. සංවාදශීලි සේවාලාභීන් සමග ඔවුන්ගේ ගැටළු ගවේෂණය පහසුවන්නේ රංග චිකිත්සකයා සමග අන්තර්ක්‍රියා කරන්නට සේවාලාභියාට මාධ්‍යයක් ඇති බැවිනි. කෙසේ නමුත් රංග චිකිත්සාව වඩාත් ඵලදායි හා ක්‍රියාකාරි ලෙසින් මැදිහත් වීම කරන්නේ සංවාදයට කිසිසේත් අකමැති සේවාලාභීන් සමග ය. ඔවුන්ගේ ක්ලමත තත්ත්වය හෝ ආතතිය නිසා ඔවුන් සංවාදශීලි නොවෙති (non-verbal). රංග චිකිත්සකයා ඔවුන්ගේ ගැටළුවේ ස්වභාවය අරභයා මග පෙන්වමින් හෝ මග නොපෙන්වමින් චිකිත්සක කාර්යය ඇරඹිය හැකිය. චිකිත්සකයා සමග අන්තර්ක්‍රියාවක් නොමැති අවස්ථාවල සේවාලාභියාට වැඩි දුරස්කරණ රංග චිකිත්සක මෙවලම් (over-distancing tools) භාවිතා කරමින් ස්වකීය මනෝභාවයන් ට හෙළිදරව්වන්න ට අවකාශ සලසා දීම කල හැකිය. රංග චිකිත්සකයා එම ක්‍රියාකාරකම් හා ඉන් පැන නගින මනෝභාවයන් පිළිබඳව නිරීක්ෂණය කරමින්, ඉවසීමෙන් යුතුව ක්‍රියා කල යුත්තේය. විටෙක සැසියක් හෝ දෙකක් නිහඬවම ගෙවී යා හැක. එනමුත් ඉන් ඇඟවෙන්නේ කිසිවක් සිදු නොවන බව නොව, එනමුත් සේවාලාභියාගේ චිත්තාභ්‍යන්තරයෙහි කිසියම් වෙනසක ට මුල පිරීමක් සිදුවන බව ය.

වඩා වැදගත් කරුණ නම් සේවාලාභියා යළි කම්පනකාරි තත්ත්වයකට (re-traumatize) ඇද දැමීමෙන් රංග චිකිත්සකයා වැළකී සිටිය යුතු බවය. සේවාලාභියා එවැනි තත්ත්වයකට පත් කිරීම ඔහුව කලකිරීම හා විශාදය වෙත ඇද දමන්ට හේතුවන්නේය. මෙම තත්ත්වය මග හැරීමට වැඩි දුරස්කරණ මෙවලම් භාවිතා කරන රංග චිකිත්සකයා, චර්යාවන්, ගැටළු හෝ අවේගයන් උපමා රූපිකව (metaphorically) අවබෝධ කරගන්නට ඉඩ සලසයි. කෝපය ගිනි කන්දක් සේ අඹන්නට (sculpt) හැකිය. නැතිනම් එය ගිනිගොඩක් විය හැක. මෙවැනි මනෝභාවයන් රඟ දැක්වීමෙන් සේවාලාභියාට තම භාවයන්ගේ ගුණයන් (qualities) පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගන්නට හැකිවෙයි.

ගැටළුවක් ගවේෂණය යනු මෙසේ භූමිකාවක හෝ සිදුවීමක ඇති මනෝභාවික පක්ෂය මුදා හැරීමයි. ඊට රංගනය දායක වෙයි. කණ්ඩායම ඉදිරිපිට දී සාමාජිකයෙකු කිසිවක් නොපැවසුව ද, සිට ගැනීම නම් චාලක ක්‍රියාකාරිත්වය හරහා ඔහුට භාවයක් මුදා හැරිය හැක. රංග චිකිත්සාව යනු නාට්‍යයක් රඟ දැක්වීම නොව, පුද්ගලයාගේ ගැටළුකාරී මනෝභාවික තත්ත්වයන් ප්‍රකාශවීමට ඉඩ සැලැස්වීම තුළින් සංවර්ධනාත්මක විපරිවර්තනයක් (developmental transformation) අත්කරගැනීමට සේවාලාභී ට අවස්ථාව සලසා දීම යි.

රංග චිකිත්සක සැසියේ දී ගවේෂණය කරන්නේ සේවාලාභියා මේ මොහොතේ, මේ දැන් (here and now) ගෙන ආ මනෝභාවය හෝ මනෝභාවයන් ය. විශ්වසනීය හා ආරක්ෂිත පරිසරයක් ගොඩනගමින් ස්වකීය පරිකල්පනය මෙහෙයවන්ට සේවාලාභීන් ට ඉඩ සැලැසීම පරිවර්තනීය අවකාශයක් (transitional space) ගොඩ නැගීම වෙයි. මෙය උපමා රූපක පිරි, කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කි ගේ Magic IF රංග න්‍යාය භාවිතා කරමින් රංග චිකිත්සකයා හා සේවාලාභියා එකතුවී ගොඩනගන අවකාශයක් වෙයි.

වැඩි දුරස්කරණයේ දී සේවාලාභියාගේ ගැටළුව ‍ඔහුගෙන් බොහෝ දුරස් කෙරෙයි. ඒ සඳහා කතාන්දර, විවිධ කතාන්දර, පිංතූර, ඡායාරූප, වෙස් මුහුණු, රූකඩ, මපට්, චිත්‍ර කලාව, සංගීතය වැනි දේ භාවිතා කෙරෙයි. මීට අමතරව චිකිත්සකයාගේ අත්දැකීම් මත තවත් බොහෝ වැඩි දුරස්කරණ මෙවලම් නිර්මාණය කරගත හැකියි. වැලි තැටිය එවැනි වටිනා වැඩි දුරස්කරණ මෙවලමකි. තවද ඇඹීම (sculpting) යනු ශරීරය හෝ වෙනත් දේ භාවිතා කරමින් සිදු කල හැකි වැඩි දුරස්කරණ ක්‍රියාවලියකි.

වැඩි දුරස්කරණයේ දී බොහෝ විට සේවාලාභීන් තමන්ගේ ගැටළුව උපමා රූපිකව හෝ සංඛේතාත්මකව ඉදිරිපත් කරන්නට යොමු වෙයි. රංග චිකිත්සකයාගේ සූක්ෂ්මතාව නම් සේවාලාභීන් වැඩි දුරස්කරණ මෙවලම් භාවිතා කරමින් සිදු කරන නිර්මාණ තුළ සැඟව ඇති මනෝභාවික වටිනාකම් හා සංඛේත (symbols) අවබෝධය ට ගැනීම ය. වර්ණ, හඬ, ඇඹූ දේ බොහෝ විට සංඛේතාත්මක වෙයි. මේ සංඛේත ලෝකය තුළ ජීවත්වීම සේවාලාභියාට සහනයක් සේ ම ආරක්ෂිත බවක් සපයයි. ඔහුට මේ අවස්ථාව තමන්ගේ චිත්තාවේගිය අත්දැකීමෙන් මිදෙන්න ට (catharsis) ලැබුනු කදිම අවස්ථාවකි. ඒ පහසුව හා ආරක්ෂාව අත් විඳින්නට කණ්ඩායමක් වශයෙන් හෝ තනිව සේවාලාභියාට අවස්ථාව ලැබෙයි. බොහෝ විට කණ්ඩායමක දී මෙවැනි උපමා රූපික ලෝකයකට ගමන් කරන්නට ලැබීම විනෝද ජනක කටයුත්තකි. එය වෙනත් භූමිකාවක්, වෙනත් වටපිටාවක් තුළ ලබන අත්දැකීමකි. එය විනෝදය හා මුසුවූ ඉගෙනුමකි. මෙය නාට්‍යාගාරයෙක වාඩිගෙන සිටින විට ලබන අත්දැකීමට සමානය. මේ නිසා සංඛේතාත්මක ලෝකය තුළ සේවාලාභියාගේ සිතෙහි ඇති භීතිය හා කම්පනය බැහැර කෙරෙන අතර, එය යථා ලෝකයේ ගැටළුව කෙරේ ද යම් ආලෝකයක් විහිදුවයි.

අපගේ සේවාලාභීන් චිකිත්සාව සඳහා පැමිණෙන්නේ සමාජ පරිසරයෙන් එල්ල වූ පීඩනයන් ඉදිරියේ ආන්තික ලෙසින් මනෝ ලෝකයක ගැලීම සිටීම නිසා ය. සේවාලාභියෙක් යනු වින්දිතයෙකි. ඔහු සිරකරුවෙක්, ලිංගික අපචාරයට හසුවූ අයෙක්, මූල්‍යමය ගැටළු, රැකියාවේ ගැටළු, විවාහයේ ගැටළු, අධ්‍යාපනයේ ගැටළු, පෞරුෂයේ ගැටළු, සිතුවිලිවල ගැටළු, ආකල්පමය ගැටළු යනාදියෙන් පිරි අයෙකි. මේ සියළු කාරණා අපේ සේවාලාභීන් වින්දිතයින් බවට පත් කර ඇත. ඔහු හෝ ඇය බොහෝ විට වින්දිතයෙක් වන්අනේ තමන්ගේ (self) ප්‍රතිරූපය අන් අය (other) තුළින් දකින්නට උත්සාහ කිරීම නිසා හෝ අන් අයගේ ප්‍රතිරූපයට තමන්ව ගිල ගැනීමට සැලැස්වීම නිසා ය. මෙය පුද්ගල මිථ්‍යාව (personal myth) නිර්මාණය කරලීමෙන් එහි සිරගත වීමකි.

තමන් මවන මායාව (illusion) හරහා තමන්ව වින්දිතයෙක් කරගත් පුද්ගලයා, යළි ඔහුගේ ම පරිකල්පනය තුළින් පෙර සිටි යහපත් තත්ත්වයට පත් කිරීමේ මූලික කටයුත්ත වැඩි දුරස්කරණ මෙවලම් හරහා රංග චිකිත්සක ඉටු කරයි. තමන්ගේ ගැටළුව පිළිබඳව සේවාලාභියා තුළ වාස්තවික අවබෝධයක් ජනිත වන තෙක් රංග චිකිත්සක ඔහුට සහාය විය යුත්තේය. රංග චිකිත්සකගේ වැඩි දුරස්කරණ මෙවලම් සේවාලාභියාගේ වර්තමාන කම්පනකාරි අත්දැකීම මග හැරවීමට යෙදැවෙයි. තම ජිවිතයේ නව අර්ථ මතු කරගැනීමට හා එම අර්ථ පිලිබඳව නැවත සිතා බලන්ට (reflection) සේවාලාභියාට වැඩි දුරස්කරණ මෙවලම් හරහා අවකාශ සැලැසෙයි. සේවාලාභියාට තම ගැටළුව හා සම්මුඛ වෙන්නට අවශ්‍ය ශක්තිය සපයන්නේ මෙම වැඩි දුරස්කරණ ක්‍රියාදාමයයි. කෙටියෙන් කිවහොත් යථාවබෝධය ලබනු පිණිස සේවාලාභියා සූදානම් කරවීම ට එම මෙවලම් විශාල සහායක් වෙයි.

සංඛේතාත්මක භාවිතාවන් හරහා යථා ලෝකය වෙත විහිදැ වූ ආලෝකය, වාස්තවිකව තම ගැටළුව දෙස බලන්නට සේවාලාභී ව සූදානම් කරන බව අපි මුලදී අවබෝධ කරගතිමු. මෙසේ ගැටළුවේ යථා සොබාව හඳුනාගන්නට සේවාලාභී සූදානම් බව පැහැදිලි වන විට රංග චිකිත්සකයා විසින් අඩු දුරස්කරණ මෙවලම් භාවිතයට යොමුවිය යුතුයි. මෙතැනදී සේවාලාභියා තමන්ගේ ගැටළුව සෘජුවම දකින්ට ශක්තියක් ඇති අයෙක් නිසා රංග චිකිත්සකයා විසින් සේවාලාභියා ලවා ඔහුගේ කතාව රඟ දක්වන්ට හෝ කණ්ඩායම ඉදිරියේ කියා පෑමට අවස්ථාව සැලැසිය හැකියි. මෙසේ සේවාලාභියා අන් අය වෙත සෘජුවම තම ගැටළුව රඟ දක්වා සිටීමෙන් හෝ ඔහුගේ කතාව ගෙන හැර පෑමෙන්, කණ්ඩායමේ සහභාගිත්වය යළිත් අපේක්ෂා කෙරෙයි. කණ්ඩායම එම කතාව රඟ දක්වා සිටීම හා ඔහු සමග ගැටළුවේ විවිධ පැති සාකච්ඡාවට බඳුන් කිරීම හා නිරූපණය කර සිටීම, සේවාලාභීට තම ගැටළුවේ විවිධ පැතිමානයන් හෙළිදරව් කරගන්නට මග පාදයි. ඒ හරහා විකල්ප විසඳුම් හා අවසානයන් හඳුනාගැනීමේ හා යෝජනා කිරීමේ අවකාශය උදාවෙයි.

අඩු දුරස්කරණ අවස්ථාවේ දී සේවාලාභියා තමන් පිළිබඳව හා තමන්ව වර්තමානයේ ස්ථාන කරගෙන ඇති තැන පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබයි. මෙය සෘජුවම යථාර්තය හා ගැටීමක් වෙයි. මේ නිසා යථාර්තයෙන් පලා යන්නට හෝ එය මග හරින්නට සේවාලාභියාට අවස්ථාවක් නැත. ඔහු යථාර්තයේ ජීවත්වීමට මේ රංග ගත කිරීම් හරහා ඉගෙනුම ලබයි. මේ අවස්ථාව පැහැදිලිවම සේවාලාභියාගේ භාවමය පක්ෂය වඩාත් ශක්තිමත් කොට, එය පැහැදිලි ස්ථාවරයකට පමුණුවයි. ඒ භාවමය වැඩීම, තමන් අවට ලෝ‍කයේ සිදුවූ දෑ දකින්නට හා සිදුවිය යුතුව තිබූ දේ දකින්නට අවකාශ සලසයි. මෙතැනදී රංග චිකිත්සකයා ද භාවමය වැඩීමට ලක්වන බව අමතක නොකරන්න. මන්ද, සියලු වැඩි දුරස්කරණ හා අඩු දුරස්කරණ මෙවලම් යොදා ගනිමින් රංග චිකිත්සයා ගත් උත්සාය සඵල වන්නේ රංග චිකිත්සකයා සේවාලාභියා‍ලගේ භාවමය පක්ෂය හා ඒවායේ අර්ථයන් ගැන අවබෝධයෙන් සේවාලාභියා ඉදිරියට ගෙන ආ බැවිනි.

මෙම වැඩීම, තමන් පිළිබඳවත්, ලෝකය පිළිබඳවත් අළුතින් සිතන්නට හා අළුතින් දකින්නට පහසුව සලසයි. තවද, මෙම වැඩීම නිසාවෙන් සේවාලාභියා වින්දිතයෙකු වීමේ ඉඩ අහුරා දැමෙයි. ඔහු තමන්ව නව්‍ය තත්ත්වයකට පමුණුවා ගනී. එනම් වින්දිතයෙකු වීමට පෙර සිටි තත්ත්වයට යළි පමුණුවා ගනී.

තමන්ගේ ගැටළුව නිර්මාණය වන්ට තමන් ද යම් පමණකට හෝ දායකත්වයක් දී ඇති බවට සේවාලාභියා දැනුවත් වීම පුද්ගලාරෝපණය (personalize) ලෙස හැඳින්වේ. තමන් වැටී සිටින තත්ත්වයට තමන් ද වගකිව යුතු බව සේවාලාභියාට වැටහෙන තෙක් ඔහුගේ සිතීමෙහි වෙනසක් සිදුනොවන්නේය. එනම්, වෙනසකට අවශ්‍ය අභිප්‍රේරණය (motivation) සිදු නොවන්නේය. මේ නිසා සේවාලාභියා තමන්ට ලැබුනු වැඩි දුරස්කරණ මෙවලම් හරහා ඉගෙනුම ලබන්නේ ගැටළුවට තමන්ගේ ඇති සහභාගිත්වය කොතරම් ද යන්න මැන ගැනීමට ය. එම මැන ගැනීම සිදුවන මොහොත රංග චිකිත්සාවේ තීරණාත්මක මොහොත වෙයි. මන්ද, එය භාවික හා ආකල්පමය වෙනසකට මුල පුරන අවස්ථාවයි. ඒ අවස්ථාව පැහැර හරින්නට රංග චිකිත්සකයාට කිසිසේත් අවකාශයක් නැත. ඔහු තම බිලි පිත්ත දමා මාළුවෙක් බා ගන්නා විලසින් සේවාලාභියාව ගැටළුවෙන් ගොඩට ගන්ට එම මොහොත භාවිත කරගනී. ඔහු වහා ක්‍රියාත්මක වී සේවාලාභියාට මීළඟ ට අවශ්‍ය කෙරෙන චිකිත්සක ආම්පන්න සපයයි. මෙය ඉතා වටිනා මුලපිරීමකි.

අඩු දුරස්කරණයේ දී පුද්ගලාරෝපණය කරගන්නා ඉලක්කය වෙත ගමන් කිරීමට සේවාලාභියා මුල පිරිය යුතුය. එම මුලපිරීම සිදු කල හැක්කේ සේවාලාභියාට ගැලපෙන්නා වූ යෝග්‍ය හා ක්‍රමවත් පියවර හඳුනාගැනීමෙනි. රංග චිකිත්සකයා ඒ සඳහා මනෝ රංගයේ (psychodrama) හා ප්‍රථ්‍යාවර්තන රංගයේ (playback theatre) සියළු මෙවලම් භාවිතයට යොදා ගනී. ඉන් සමහරක් නම්:

  • ස්වයං කථනය
  • ස්වකීය කතාන්දරය රඟ දැක්වීම
  • භූමිකා නිරූපණය
  • ස්වයං චරිතාපදානය ලිවීම
  • ඇඹීම
  • භූමිකා ද්විත්වකරණය

ස්වකීය ගැටළුව රඟ දක්වීම, ස්වයං කථනය යනාදි අඩු දුරස්කරණ රංග චිකිත්සක මෙවලම් හරහා සේවලාභියාට ඇති විකල්පයන් හා යෝග්‍ය අවසානයන් හඳුනාගැනීමට අවකාශ සලසමින්, රංග චිකිත්සකයා අපේක්ෂිත වෙනස ඉලක්ක කොට ක්‍රියාත්මක වෙයි. චර්යාමය වෙනසේ දී, පුද්ගලයා තමන්ව විතැන් කරගෙන ඇති බවට හඳුනාගන්ට ලැබෙයි. එවිට ඔහු තවදුරටත් කතාන්දරයේ වින්දිතයා නොව, කථකයා බවට පත්වෙයි. ස්වකීය ජීවිත කතාවේ කථකයා බවට පත්වන්නට සේවාලාභියාට අවස්ථාව ලැබීම යනු ඔහු තමන් පිළිබඳ අවබෝධයක්, තමන් ගැන ඉගෙනුමක් සිදු කර ඇතිය යන්නයි. වෙනත් වචනවලින් කිවහොත් රංග චිකිත්සාවේ ඉලක්කය චිකිත්සාවට පැමිණෙන සේවාලාභියාට ආත්ම සාක්ෂාත්කරණයේ ඵල භුක්ති විඳින්ට සැලැස්වීමයි. ඒ සඳහා අඛණ්ඩවම සේවාලාභියාව අභිප්‍රේරණයට ලක් කිරීම රංග චිකිත්සකයා අතින් සිදුවෙයි.

ආත්මසාක්ෂාත්කරණයෙන් යුතු අයෙකු වීමට පුද්ගලයා තමන් ගැන දැනගත යුතුය. තම ශක්තීන් හා දුර්වලතා දැනගත යුතුය. තමන් සිටිනා ආකාරයට තමන්ව පිළිගත යුතුය. ශක්තීන් වර්ධනය කරගෙන දුර්වලතා අවම කරගත යුතුය. තමන් ඉදිරියට එන ආත්ම වර්ධන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතුය. අන් අය සමග හොඳ සබඳතා පවත්වාගන්නට ඉගෙනීම හා අන් අයට වැඩෙන්නට උත්තේජනය ලබා දිය යුතුය. තමන් තමන්ට හා අන් අයට අවංක විය යුතුය. වගකීමෙන් හා විශ්වාසවන්ත බවින් පිරිපුන් විය යුතුය. ජිවිතය ගමන් කරවන දිසාවන් පිළිබඳ දැනීමක් තිබිය යුතු අතර තමන් ගමන් ගන්නා දිසාව දැන සිටිය යුතුය.

ආත්මසාක්ෂාත්කරණය ට පත් පුද්ගලයා අතීතය පිළිබඳ වරදකාරි හැඟීමෙන්, දුක්ඛ ‍දෝමනස්සයන්ගෙන්, අමනාපයෙන් නිදහස් වූ අයෙකි. ඔහුගේ බලාපොරොත්තු වර්තමානයේ ඉලක්කයන් ට යථාරූපිව බැඳී ඇත. ඔහු ස්වාධීන හා ඇතුලාන්තයෙන් මෙහෙයැවෙන පුද්ගලයෙකි.
රංග චිකිත්සාව පුහුණුවන්නන් මතක තබා ගත යුතු දේ නම් ආත්ම සාක්ෂාත්කරණය චිකිත්සාවේ අතිශයින්ම වැදගත් අංශයක් බවයි. සේවාලාභියාගේ වැඩීම සඳහා උපකාරි වන්නේ හැබැවින්ම චිකිත්සකයාගේ නිපුණතා හා වෘත්තීයමය හැකියාව පමණක් නොව. ස්වකීය වැඩීම අත් කරගත් තැනැත්තෙකු සමග කිට්ටු ගනුදෙනුවකට පැමිණීමේ අත්දැකීමය සේවාලාභී ට හිමිවෙයි. මේ නිසා සත්‍යය නම් රංග චිකිත්සකයා වඩාත් සංතෘප්තකර හා පිරිපුන් දිවියක් ගත කරයි නම් පමණක් රංග චිකිත්සාව ද බලවත් වන බවයි.

අවසාන වශයෙන් රංග චිකිත්සාව යනු පුද්ගලයෙකු ට තමන්ගේ චෛතසික වෙනස ට අවශ්‍ය ඉගෙනුම ලබා දීමකි. ආත්මගවේෂණය එහි මූලික පියවරයි. තමන් පිළිබඳව හා තමන්ගේ ගැටළුව පිළිබඳව සිදු කරන ගවේෂණය තුළින් සේවාලාභියා ආත්මාවබෝධය වඩයි. මේ දැනුම හා සංවේදී බව ඔහුගේ චර්යාව තීන්දු කරයි. ඒ අනුව රංග චිකිත්සාව නම් චිකිත්සක මෙවලම් හි උපකාරයෙන් ඉගෙනුම් ක්‍රියාදාමයක් තුළ සේවාලාභියා ට තමන් අරභයා ස්වාධීනව තීන්දු ගන්නට බලගැන්වීමයි.

නිමි.

(මෙම ලිපිය කතුවරයාගේ අවසරය නැතිව වෙනත් තැනක පළ කිරීම තහනම් ය. දී ඇති දුරකථන අංකයට ඇමතීමෙන් හෝ විද්යුත් තැපෑල මගින් අවසරය ලබා ගත හැක. ජංගම දුරකථන අංකය: 0719839507 / විද්යුත් තැපෑල: ravindraranasinha@gmail.com. තවද, මෙම ලිපිය කියැවූ ඔබ රංග චිකිත්සාව විධිමත් ලෙස හැදෑරීමට උනන්දුවක් දක්වයි නම් කරුණාකර අප අමතන්න).

Leave a comment